ගොයම් කහ පැහැ වීමේ තත්ත්වය සම්බන්ධව වාර්තාවක් කෘෂිකර්ම ඇමතිට ලබා දෙයි

ගොයම් කහ පැහැ වීමේ තත්ත්වය සම්බන්ධව වාර්තාවක් කෘෂිකර්ම ඇමතිට ලබා දෙයි

ශ්‍රී ලංකාවේ මහ කන්නයේ වී වගාව ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශවලින් වාර්තා වන ගොයම් කහ පැහැ වීමේ තත්ත්වය සම්බන්ධව පසුගිය සති දෙකක් තුළ එම දෙපාර්තමේන්තුව කරන ලද නිරීක්ෂණයන් අනුව ඊට අදාල වාර්තාවක් ඊයේ (24) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ඉදිරිපත් කර තිබෙනවා

ගොයම් කහ පැහැ වීමේ තත්ත්වය සම්බන්ධව වාර්තාවීමෙන් අනතුරුව ඒ සම්බන්ධව විධිමත් නිරීක්ෂණයන් සිදු කර කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත වාර්තාවක් ලබා දෙන ලෙසත්, මේ සම්බන්ධව ගත හැකි පියවර සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන ලෙසත් කෘෂිකර්ම අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මීට පෙර උපදෙස් ලබා දී තිබුණා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව ඔවුන් මෙම ගොයම් කහ පැහැ වීම වාර්තා වූ දිස්ත්‍රික්ක 14 ක තම නිලධාරින් යොදවා විමර්ශන කටයුතු සිදු කර තිබෙනවා .

මෙම වාර්තාවට අනුව ගොයම් කහපැහැවීමට හේතු වී තිබෙන ප්‍රධාන කරුණු කිහිපයක් හඳුනාගෙන ඇති අතර ඒවා වන්නේ පොස්පරස් (P) ඌනතාවය, පොටෑසියම් (K) ඌනතාවය, පොටෑසියම් හා පොස්පරස් දෙකම ( P and K) එකවර ඌනවීම, නෙමටෝඩා විසින් ගොයම් ගස්වල මූල පද්ධතියට හානි කිරීම, පැළ මැක්කාගේ Rice Thrift හානිය, දුඹුරු කීඩෑ උවදුර, කුඹුරුවල ලවනතාවය ( Salinity) ,සහ යකඩ විෂවීම (Iron Toxicity) යන තත්ත්වයන්ය

කෙසේ වුවද ගොයම් කහ පැහැවීම වළක්වා ගැනීමට ගොවීන්ට අවශ්‍ය දැනුවත් කිරීම් කටයුතු සිදු කෙරෙන අතරම අවශ්‍ය වුවහොත් කෘමිහානි මර්දනය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මුදල් වියදම් කර ඒ සඳහා අවශ්‍ය කෘමිනාශක මිලදී ගෙන අවශ්‍ය කටයුතු යොදන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබෙනවා.

ඊට අමතරව නිරීක්ෂණයට ලක් කළ කුඹුරුවලින් බහුතරයක් පෝෂණ ඌනතා නිසා කහ පැහැතිවී ඇති බව හෙළිදරව් වී ඇති අතර ගොවි ජනතාව විසින් MOP හෙවත් බන්ඩි පොහොර මෙතෙක් කුඹුරුවලට යෙදීමට පියවර නොගැනීම මෙයට හේතුව ලෙසයි වාර්තාවේ දක්වා තිබෙන්නේ

Share This