”ගොඩවෙල්ලා” නමැති දළඹු විශේෂ තුන ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට උපදෙස්

”ගොඩවෙල්ලා” නමැති දළඹු විශේෂ තුන ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට උපදෙස්

ගොඩවෙල්ලා නමැති දළඹු විශේෂය ව්‍යාප්ත වීම පාලනය කරගැනීමට ප්‍රාදේශීය කෘෂිකර්ම නිලධාරින්ගේ උපදෙස් මත කටයුතු කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා.

මේ වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගොඩවෙල්ලා නැමැති Spodoptera කාණ්ඩයට අයත් දළඹු විශේෂ තූනක් පැළ ගොයමට හානි කරන බවට තොරතුරු වාර්තා වී ඇති අතර ආණමඩුව හා දිඹුලාගල ප්‍රදේශවලින් මෙම රෝගය වාර්තා වනවා.

මේ සම්බන්ධව අවදානය යොමු කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වහාම එම රෝග පාලනය සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරියට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව අද (30) ආනමඩුව හා දිඹුලාගලට විශේෂ නිලධාරින් දෙදෙනෙක් සහිත කණ්ඩායමක් යවා මේ සම්බන්ධව පරීක්ෂා කිරීමට බතලගොඩ වී පර්යේෂණාතයතනය විසින් කටයුතු කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ගොඩවෙල්ලා නැමැති මෙම දළඹු විශේෂය පාලනය නොකළහොත් විශාල විනාශයක් වී වගාවට සිදු වනවා.

එම නිසා දිවයින පුරා නිලධාරින් 150කට අධික ප්‍රමාණයක් මෙම දළඹු විශේෂය පාලනය සඳහා පුහුණු කර ඇති අතර ඔවුන් විසින් කෘෂිකර්ම ව්‍යාප්ති සේවා පවත්වාගෙන යනු ලබනවා.

මින් පෙර උතුරු හා නැගෙනහිර පළාත්වලින් ද මෙම රෝගය වාර්තා වූ අතර ගොවිජනතාවගේ සහයෝගය මත එම රෝගය සාර්ථකව පාලනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට හැකි වී තිබෙනවා.

ඒ නිසා ගොඩවෙල්ලා දළඹු ව්‍යාප්තිය පාලනයට සැම විටම කෘෂිකර්ම නිලධාරින් වීසින් ලබා දෙන උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Share This