ගුවන්තොටේ සෞඛ්‍ය ආරක‍ෂිත තත්ත්වය ඉතා කණගාටුදායකයි – මහජන සෞඛ්‍ය පරීක‍ෂකවරු (වීඩියෝ)

ගුවන්තොටේ සෞඛ්‍ය ආරක‍ෂිත තත්ත්වය ඉතා කණගාටුදායකයි – මහජන සෞඛ්‍ය පරීක‍ෂකවරු (වීඩියෝ)

මෙරට දෛනික කොවිඩ් 19 ආසාදිතයින් වාර්තාවීමේ සීඝ්‍ර වර්ධනයක් යළිත් දක්නට ලැබෙන බව, සෞඛ්‍ය අංශ පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ, ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිනොපැදීම මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

දෛනික කොවිඩ් 19 ආසාදිතයින් වාර්තාවීම පසුගිය සති කිහිපයේ යම් අඩුවක් දක්නට ලැබුණ ද ඉකුත් දින 02 තුළ යළිත් ආසාදිතයින්ගේ ඉහළ යාමක් පෙන්නුම් කළා.

කෙසේවෙතත්, සෞඛ්‍ය අංශ මීට පෙර අවධාරණය කළේ ඔමික්‍රෝන් ප්‍රභේදය සහිත ආසාදිතයින් මෙරටින් හඳුනා ගැනීමත් සමඟ දෛනික ආසාදිතයින්ගේ වර්ධනයක් සිදුවිය හැකි අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි පිළිපැදීම අනිවාර්ය බවයි.

ඊයේ (20) දිනයේ යළිත් ආසාදිතයින් වාර්තාවීම වර්ධනයක් පෙන්නුම් කරමින් ආසාදිතයින් 827 දෙනෙකු මෙරටින් වාර්තා වුණා.

ඉන් 03 දෙනෙකු හඳුනාගෙන තිබුණේ විදේශ ගතව සිට දිවයිනට පැමිණි පුද්ගලයින් අතරින්.

මේ අතර, කටුනායක ගුවන් තොටුපළේ සෞඛ්‍ය ආරක‍ෂිත තත්ත්වය ඉතා කණගාටුදායක බව, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක‍ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළා.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ, ජනතාව බූස්ටර් එන්නත ලබා නොගැනීම හේතුවෙන් ඉදිරියේදී රට තුළ සීඝ්‍ර කොවිඩ් අවදානමක් මතුවිය හැකි බවයි.

Share This