කොවිඩ් නොවන මරණ අවසන් කටයුතු පැය 24 ක් තුළ කිරීමට ජනපති අනුමැතිය

කොවිඩ් නොවන මරණ අවසන් කටයුතු පැය 24 ක් තුළ කිරීමට ජනපති අනුමැතිය

කොවිඩි නොවන හේතූන් මත මියයන පුද්ගලයන්ගේ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට ජනාධිපතිවරයා අනුමැතිය ලබා දී තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ රැස්වූ අවස්ථාවේදීයි.

කොවිඩ් නොවන මරණ පී.සී.ආර් පරීක්ෂණයට ලක්කිරීමෙන්, අවසන් කටයුතු කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳව බොහෝ දෙනාගෙන් චෝදනා එල්ල වී ඇති අතර එමගින් මියගිය අයගේ පවුල්වල අය මුහුණ දෙන ආර්ථික සහ දැඩි අපහසුතා සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ජුනි මස 14වන දින සංචරණ සීමා ඉවත් කිරීමට තීරණය කර තිබුණ ද, ජුනි 11 වන දින මරණ 101ක් වාර්තා වූ බවට ලැබුණු දත්ත පදනම් කරගනිමින් ජුනි 21 වනදා තෙක් සංචරණ සීමා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබෙනවා.

පසුව මෙම මරණ සිදුව ඇති ආකාරය පිළිබඳව සෞඛ්‍ය සහ බුද්ධි අංශ මගින් නැවත පුළුල් විමර්ෂණයක් කර ලබාගත් දත්ත පිළිබඳව ජනාධිපතිතුමා දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළා.

එහිදී ඇතැම් මරණ පෙබරවාරි 06 සිට ජුනි 11 දක්වා මාස 04ක කාලසීමාව තුළ සිදුව, මරණ සහතික ද නිකුත් කළ තිබූ බවට ද අනාවරණය වූ බවයි එම
නිවේදනයේ සඳහන් වන්නේ.

ඇතැම් මරණ පිළිබඳව තොරතුරු දෙවතාවක් සඳහන් වි ඇති බව ද වාර්තා වන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ජුනි 11 වන දින සිදුව ඇති මරණ සංඛ්‍යාව 101ක් නොව 15ක් පමණක් බව සිදුකළ පුළුල් විමර්ෂණයෙන් පසු අනාවරණය කරගත් බව ජනාධිපතිවරයා පවසනවා.

දත්ත සැපයිමේදී නිවැරදි වීම සහ කාලීන වීම, නිවැරදි තීරණ ගැනීමට අත්‍යාවශ්‍ය බව ජනාධිපතිතුමා අවධාරණය කර තිබෙනවා

 

Share This