කීයට ගත්තත් , නාඩු 97 ට සම්බා 99 ට  – කෘෂිකර්ම ඇමති

කීයට ගත්තත් , නාඩු 97 ට සම්බා 99 ට – කෘෂිකර්ම ඇමති

වී මෙට්‍රික්ටොන් ලක්ෂ තුනහමාරක් රජය සතුව සංචිතයක් පවත්වාගැනීමේ ජාතික වැඩපිළිවෙල පිලිබඳ ඊයේ රැස්වුණු කැබිනට් මණ්ඩලය ඓයිතිහාසික තීන්දුවක් ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දාන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

වෙළඳපොළ මිල සමඟ තරඟකාරී මිලට රජයත් වී මිලට ගන්නා ලෙස ජනාධිපතිතුමා එහිදී උපදෙස් දුන් බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අද පෙරවරුවේ පැවති මධ්‍යහමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පලකළා.

“‘පොහොර සහනාධාරය ලබන ගොවීන් රජයට වී කිලෝ 1000 ක් දෙන්න ඕනේ කියන තීරණයෙන් ඉවත්වුණා. තෙත වී රුපියල් 46 ට වියළි නාඩු රුපියල් 52 ට වියළි සම්බා රු. 54 ක මිලට ගන්න කැබිනට් මණ්ඩලය තීන්දු කළා. මේ තීරණය ඊයේ මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මකයි. හෙට වෙළඳපොළ වී මිල රුපියල් 55 උනොත් වී අලෙවි මණ්ඩලයත් 55 ට ගන්නවා.

හැබැයි වී කීයට ගත්තත් නාඩු හාල් කිලෝ 1ක් රුපියල් 97 ටත් සම්බා හාල් කිලෝ 1ක් රුපියල් 99 ක් කියන පාලන මිලට වැඩියෙන් කිසිවෙකුට විකුණන්න බෑ. මේ මිලට රජය එළෙබෙන අලුත් අවුරුද්දට හාල් දෙනවා. යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

රජයක් ලෙස වී අලෙවි මණ්ඩලය හරහා අපිත් ගොවියාට ඉතාම සාධාරණ ලෙස වෙළඳපොළ තරඟකාරී මිලට වී මිලට ගන්නවා. ගොවීන්ට දෙන්න පුළුවන් උපරිම මිල අපි දෙනවා. මහා පරිමාන වී මෝල් හිමියන් හැමදාම කළේ 80% ක් ගොවියාගේ අස්වැන්න අඩුමිලට අරගෙන අවසන් මොහොතේ රු. 60 ක් 70 ක් කරන එක. ඊටපස්සේ හාල් රු. 125 ට දෙන්න ඕනේ කියලා රජයට බලපෑම් කරන එක. ඒ නිසා අපි ලෑස්තියි පෞද්ගලික අංශය හා තරඟකාරී මිලට වී ගන්න.

අපි විශ්වාස කරනවා වී මෙට්‍රික්ටොන් ලක්ෂ 3ත් 5ත් අතර ප්‍රමාණයක් ඊටත් වඩා ගොවි ජනතාව නව වැඩපිළිවෙල එක්ක රජයට වී ලබාදෙන බව. ඒ අනුව වෙළඳපොළ හාල් මිල තීරණය කිරීමේ බලය ශක්තිය මේ තුලින් රජය සතු කරගන්නවා. වී දුන්නත් නැතත් පොහොර සහනාධාරයට කිසිදු ගොවියෙකුට බලපෑමක් නෑ. එත් වෙළඳපොළේ ඉහළම මිලට රජයට වී ගන්න ඊයේ කැබිනට් තීන්දුව සමඟ අවස්ථාව උදාවුණා. සතොස හා සමූපකාර හරහා පාලන මිලට අපි සහල් නිකුත් කරනවා.වී මෝල් හිමියන් තුන් හතරදෙනෙකු සතුව තිබුණු සහල් ඒකාධිකාරය පරාජයට රජයක් විදියට අපි සුදානම්.අපට ගබඩා පහසුකම් අවශ්‍ය පරිදි තිබෙනවා.අපි ලෑස්තියි වී සහ සහල් මිල පාලනය කිරීමේ බලය රජය සතු කරන්න.”

Share This