කිරි ගවයන් ඇතුළු ගෘහාශ්‍රිත සතුන් පිළිබඳ දත්ත ගබඩාවක්

කිරි ගවයන් ඇතුළු ගෘහාශ්‍රිත සතුන් පිළිබඳ දත්ත ගබඩාවක්

මෙරට ආර්ථිකයට දායකත්වය දක්වන සතුන් පිළිබඳ සංගණනයක් කොට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයේ කේන්ද්‍රගත දත්ත පද්ධතියක් පවත්වා ගෙන යෑමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල මහත්මිය ඇතුළු අදාළ නිලධාරීන්ට අද (29) අමාත්‍යවරයා අදාළ උපදෙස් ලබා දුන් බවයි කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කළේ.

වසරින් වසර ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන සත්වයින්ගේ ප්‍රමාණය ඉහළ යා යුතු වුවද වසරක් පාසා කිරි ගවයන් වැනි සතුන් ආනයනය කීරිමට සිදුව ඇති හේතුව අනාවරණය කර ගැනීමට නොහැකි වීම ගැටලුවක් බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මේ අනුව දිවයින පුරා ගෘහාශ්‍රිතව සිටින කිරි ගවයන්, කුකුළන්, තාරාවන්, එළුවන් ආදි සතුන් පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගෙන ඔවුන්ගේ බෝවීම, කිරි නිෂ්පාදනය, බිත්තර නිෂ්පාදනය යනාදී කරුණු විශ්ලේෂණය කර වාර්ෂිකව සත්ව ගහණය වැඩිවීම හා එමඟින් ජාතික ආර්ථිකයට ඇති කරන බලපෑම පිළිබඳව වාර්තා ලබා ගත යුතු බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

මේ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය අභ්‍යාසලාභී උපාධිධාරීගෙන් සම්පූර්ණ කර ගැනීමට කටයුතු කළ හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත මුදල් යොදාගෙන ගම් මට්ටමේ ස්වයං රැකියා ලෙස ආරම්භ කරන සත්ව පාලන ව්‍යාපෘති ද ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉවහල්වන ආකාරයෙන් ක්‍රියාවට නැංවීම සඳහා අවධානය යොමු කළ යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

Share This