ඊජිප්තුවේ සිට ලංකාවට එන පොහොර නැව

ඊජිප්තුවේ සිට ලංකාවට එන පොහොර නැව

යල කන්නයේ වී වගාවට අවශ්‍ය මඬ පොහොර හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර (TSP) සියලුම ගොවීන්ට වගාවට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට රජය තීරණය කර තිබේ.

මඬ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් රැගත් නෞකාව ලබන මාසයේ 20වන දිනට ආසන්න දිනක දී කොළඹ වරායට ලඟාවීමට නියමිතව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයේ මුල්‍යාධාර යටතේ මෙම මඬ පොහොර ශ්‍රී ලංකාවේ ගොවීන්ට නොමිලයේ ම ලබා දීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරනවා.

මෙම මඩපොහොර තොගය ඊජිප්තුවේ සිට මෙරටට ලැබීමට නියමිත අතර ඒවා මෙරටට ලැබුනු විගසම යල කන්නයේ වී වගාව ආරම්භ වීමට ප්‍රථම දිවයින පුරා බෙදා හැරීමට නියමිතයි.

නමුත් දිස්ත්‍රික්ක කිහිපයක පෙබරවාරි මස අවසන් වනවිට වී වගාව ආරම්භ කරන බැවින් දැනට පුද්ගලික අංශය සතුව තිබෙන මඬ පොහොර මෙට්‍රික් ටොන් 3500ක් වන ප්‍රමාණය රජයේ මුදල් වැය කර මිල දී ගෙන ගොවීන්ට නොමිලයේ බෙදා දීමට කටයුතු කරන බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මහනුවර ගන්නොරුව කෘෂිකර්ම සන්නිවේදන හා පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැති සම්මන්ත්‍රණයක දී සඳහන් කළා.

Share This