ඉන්ධන පිරවුම්හල කොල්ල කෑ ‘දෙදෙනෙක්’ යතුරු පැදියත් දමා පලා ගිහින් – සියල්ල CCTV දර්ශනවලින් හෙළිවේ

ඉන්ධන පිරවුම්හල කොල්ල කෑ ‘දෙදෙනෙක්’ යතුරු පැදියත් දමා පලා ගිහින් – සියල්ල CCTV දර්ශනවලින් හෙළිවේ

මහරගම ඉන්ධන පිරවුම්හලකට යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු එහි පොම්පකරුට තියුණු ආයුධයක් පෙන්වා බිය ගන්වා රුපියල් 45,000ක මුදලක් කොල්ල කා පලා ගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.

මෙම පුද්ගලයින් දෙදෙනා අද (29) උදෑසන 6ට පමණ අවස්ථා තුනකදී ඉන්ධන ලබා ගැනීමේ මුවාවෙන් මෙම ස්ථානයට පැමිණ ඇති අතර අවසන් අවස්ථාවේදී රුපියල් 200ක ඉන්ධන ලබා ගෙන ඊට අදාළ ඉතුරු සල්ලි ලබා ගැනීමට යාමේදී එක් පුද්ගලයකු පොම්පකරු ගේ ගෙලට ආයුධයක් තබා බිය ගන්වා ඇති බව ආරක්ෂිත කැමරාවේ පටිගතව තිබෙනවා.

අනෙක් පුද්ගලයා ලාච්චුවේ තිබූ රුපියල් 45,000 ක මුදල මෙසේ කොල්ලකා තිබුණා.

ඒ බව දුටු සෙසු සේවකයින්ගේ එම ස්ථානයට පැමිණීමත් සමග  සැකකරුවන් යතුරුපැදිය එම ස්ථානයේ දමා පලා ගොස් තිබෙනවා.

එක් පුද්ගලයකු මුදල් කොල්ලකෑමට පෙර ඔහුගේ මුදල් පසුම්බිය යතුරුපැදියේ මීටරය අසල රඳවනු ආරක්ෂිත කැමරාවේ දක්නට ලැබෙන අතර කලබලයට පත් සැකකරුවන් එයද අමතක වි පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුව යතුරු පැදි අංකය අනුව පරීක්ෂණ කළ මහරගම පොලිසියේ නිලධාරීන්ට අනාවරණය වී ඇත්තේ එම යතුරුපැදිය අද දින අලුයම බොරලැස්ගමුව වැව පාර ප්‍රදේශයේ නිවසකින් සොරාගත් එකක් බවයි.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට මහරගම පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

Share This