අයහපත් කාලගුණය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ප්‍රවාහන පහසුකම්

අයහපත් කාලගුණය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ප්‍රවාහන පහසුකම්

කලුතර දිස්ත්‍රික්කයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ විභාගයට පෙනීසිටින පාසැල් දරුවන්ට සහ කාර්ය මණ්ඩලයට අපහසුවක් නොවීම සඳහා ප්‍රවාහන පහසුකම් ලබා දීමට කටයුතු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් කලුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ සහ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල විභාග මධ්‍යස්ථාන වෙත ප්‍රවේශ වන මාර්ග ජලයෙන් යටවී තිබෙනවා.

ඒ අනුව ප්‍රවාහන දුෂ්කරතා මගහරවා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා සහය ලබා දී ඇති අතර ඉදිරි දින කීපය තුළ දී යම් ආපදා තත්ත්වයන් නිසා විභාගයට පෙනී සිටීමට බාධාවන් ඇති වන්නේ නම් ආපදා කළමාකරණ මධ්‍යස්ථානයේ හදිසිඇමතුම් අංක 117 ඇමතීමෙන් අවශ්‍ය උපකාර ලබාගත හැකි බවත් එම මධ්‍යස්ථානය වැඩිදුරටත් දැනුම් දෙනවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වා ගෙන යාම සදහා සකස් කරන ලද ආපදා පෙර සුදානම් සැලසුම අනුව සියලු දිස්ත්‍රික්ක තුළ ආපදාතත්වයන් නිසා ඇති වන බාධා මගහැර ගනිමින් සාමාන්‍ය පෙළ විභාගය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සදහා විභාග දෙපාර්තමේන්තුව සමග ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙන බවයි ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This