අදට යෙදෙන ලෝක ක්ෂය රෝග දිනය

අදට යෙදෙන ලෝක ක්ෂය රෝග දිනය

ලෝක ක්ෂය රෝග දිනය අදට යෙදී තිබෙනවා. මෙවර ලෝක ක්ෂය රෝග දිනයේ තේමාව වී ඇත්තේ “අපි ක්ෂය රෝගය වළක්වමු ඔව් අපිට පුළුවන්” යන්නයි. වර්ෂ 1882 දී ක්ෂය රෝගය ඇති කරන බැක්ටීරියාව සොයාගෙන ඇති අතර එම රෝගය තුරන් කිරීමේ අරමුණින් යුතුව සෑම වසරකම මාර්තු 24 වනදා ලෝක ක්ෂය රෝග දිනය සැමරීම සිදු කරනු ලබනවා.

රෝග කාරක බැක්ටීරියාවකින් බෝවන ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගයක් ලෙසයි ක්ෂය රෝගය සැළකෙන්නේ. රෝගියෙකුට කැස්ස ඇතිවන අවස්ථාවේ දී පිටවන බිඳිති මගින් බෝවන පෙනහළු ආශ්‍රිතව හටගෙන ශරීරයේ ඕනෑම පටකයක් ආසාදනය කිරීමට හැකියාව පවතින බව සඳහන්. සති දෙකක් හෝ ඊට වැඩි කලක් පවතින කැස්ස, මද උණ, ශරීරයේ බර අඩුවීම, ආහාර අරුචිය, රාත්‍රියට දහදිය දැමීම, අධික තෙහෙට්ටුව, හතිය, කැස්ස ඇතිවන අවස්ථාවේ සිදුවන හටගන්නා පපුවේ වේදනාව, සෙම සමග ලේ පිටවීම සහ දරුවන්ට රෝගය ආසාදනය වූ විට වර්ධනය අඩාල වීම පෙනහළු ආශ්‍රිත ක්ෂය රෝගයේ රෝග ලක්ෂණ වනවා.

දියවැඩියා රෝගීන්, වකුගඩු රෝගීන්, HIV/AIDS ආසාදනය වූ රෝගීන්, අවයව බද්ධ කළ රෝගීන්, පිළිකා රෝගීන් වැනි ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයන්, රෝගයට ගොදුරු වූ පුද්ගලයන්ගේ සමීපතමයන්, මත්ද්‍රව්‍ය, මත්පැන් හා දුම්පානයට ඇබ්බැහි වූවන්, වයස අවුරුදු 05 ට අඩු කුඩා දරුවන් හා වයස්ගත පුද්ගලයින්, මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන්නන් සහ ක්ෂය රෝගය වැළඳුණු පුද්ගලයන් සමග සමීපව කටයුතු කරන සෞඛ්‍ය සේවකයන් ක්ෂය රෝගය වැළඳීමේ අවදානම් ඛාණ්ඩ ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

ලෝක ක්ෂය රෝග දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ ක්ෂය රෝගය තුරන් කිරීම සඳහා සියලු රටවල් කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවයි. මෙ‍ම රෝගයෙන් වර්ෂයක් පාසා තිස්ලක්‍ෂයකට වැඩි සංඛ්‍යාවක් මිය යන බව සඳහන්. සංවර්ධිත රටවල ක්‍ෂය රෝගයෙන් සිදුවන මරණ පහළ බැස ඇති නමුත් ක්‍ෂය රෝගයෙන් පෙළෙන සංඛ්‍යාව පහළ ගොස් නොමැති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙන්නේ.ක්‍ෂය රෝගයෙන් පෙළෙන්නන්ගෙන් 80% කට වැඩි ප්‍රමාණයක් ජීවත්වන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවලය. ඉන්දියාවේ වසරක් පාසා ක්‍ෂය රෝගයෙන් 500,000 පමණ පිරිසක් මියයන බවයි එරට සංඛ්‍යාලේඛන මගින් පෙන්වා දී ඇත්තේ.

ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය සලකා බැලීමේ දී වාර්ෂිකව ක්ෂය රෝගීන් 8000 කට අධික පිරිසක් වාර්තා වන අතර කොළඹ,ගම්පහ,කළුතර,නුවර,ගාල්ල යන දිස්ත්‍රික්කවලින් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී තිබෙනවා. වසරකට මෙරටින් ක්ෂය රෝගීන් 500 – 600 ත් අතර පිරිසක් මිය යන බව සඳහන්. එමෙන්ම හඳුනාගත් රෝගීන් අතර මරණ අනුපාතය 7% ක් ලෙස සැළකෙන්නේ. ක්ෂය රෝග මර්දන හා ලය රෝග පිළිබඳ ජාතික වැඩසටහන මගින් වසර 2035 වසරේ දී ශ්‍රි ලංකාවෙන් ක්ෂය රෝගය තුරන් කිරීමේ අරමුණින් ක්ෂය රෝග කාරක බැක්ටීරියාව ආසාධිත, නමුත් ක්ෂය රෝගය වැළඳී ඇති බවට පරීක්ෂණවලින් තහවුරු නොවූ සහ රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයන් (Latent Tuberculosis infection – LTBI) සඳහා ප්‍රතිකාර කිරීම (LTBI Treatment) ආරම්භ කර තිබෙනවා.

Share This