අදට යෙදෙන ගෝලීය ප්‍රතිචක්‍රීයකරණ දිනය

අදට යෙදෙන ගෝලීය ප්‍රතිචක්‍රීයකරණ දිනය

ගෝලීය ප්‍රතිචක්‍රීයකරණ දිනය මාර්තු 18 වන දිනට යෙදී තිබෙනවා. “නිර්මාණශීලී නවෝත්පාදනය” (Creative Innovation) යන්න මෙවර ප්‍රතිචක්‍රීයකරණ දින තේමාව වනවා. ප්‍රතිචක්‍රීයකරණය පිළිබඳ නිර්මාණශිලිව සිතීම, ඵලදායී ස්වරූපයෙන් සිදු කිරීම පිළිබඳ දැනුවත් බව, ප්‍රවර්ධනයට අවධානය යොමු කිරීම, ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ද්‍රව්‍ය ප්‍රමාණ අවම කිරීම, නැවත භාවිතය සහ ප්‍රතිචක්‍රීයකරණයට පෙළඹවා ගැනීම මෙවර තේමාවේ අරමුණු වී තිබෙනවා.

පෘථිවියේ ඇති සම්පත් බිලියන ගණනක් මිනිසා දෛනිකව පරිභෝජනය කරන අතර අපද්‍රව්‍ය ලෙස විශාල ප්‍රමාණයක් පරිසරයට මුදාහැරීම සිදු කරන ආකාරය දැකගත හැකිය. මේ හේතුවෙන් ඉහළ යන දරිද්‍රතාවය, අවතැන් වූ ප්‍රජාවන්ගේ සංක්‍රමණ, රැකියා අහිමි වීම, අපද්‍රව්‍ය කඳු සහ ස්වභාවික වාසස්ථාන අතුරුදන්වීම මිනිසාට මහත් පීඩාවක් එල්ල කර ඇත. ඊට එරෙහිව සටන් කිරීම සඳහා කල්පවත්නා වෙනස්කම් සිදු කිරීමට හැකියාව පවතින අතර එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක තුළ “ප්‍රතිචක්‍රීයකරණය” පිළිගැනීමත් සමග එය ලෝක ප්‍රජාවගේ වඩාත් අවධානයට යොමුවන කරුණක් බවටයි පත්ව ඇත්තේ.

පෘථිවිය සතු ප්‍රාථමික සම්පත් සුරැකීම සහ පෘථිවියේ අනාගතය සුරක්ෂිත කිරීමට ප්‍රතිචක්‍රීයකරණයේ වැදගත්කම හඳුනා ගැනීමට අවස්ථාවක් සැලසීම ගෝලීය ප්‍රතිචක්‍රීයකරණ දිනය හඳුන්වා දීමේ අරමුණ වන අතර අධි පරිභෝජනය, සම්පත් අපතේ හැරීම හේතුවෙන් අනාගතය පිළිබඳ මානව ප්‍රජාවට අනතුරු ඇඟවීමක් ද ඒ හරහා නිකුත් කර තිබෙනවා.

2018 වර්ෂයේදී “ගෝලීය ප්‍රතිචක්‍රීයකරණ දිනය” මාර්තු මස 18 වන දින සිට සෑම වසරකම සැමරීමට තීරණය කළ අතර ප්‍රථම සැමරුම් වර්ෂයේදීම පැරිස්, සිඩ්නි, ඩුබායි, දිල්ලි, වොෂින්ටන් ආදී නගරවල ප්‍රතිචක්‍රීයකරණ දිනයට අදාළ ක්‍රියාකාරකම් රැසක් සිදුව තිබුණා. ඒ හරහා ප්‍රතිචක්‍රීයකරණය පිළිබඳ පණිවිඩය ලොව පුරා මිලියන ගණනක පිරිසක් වෙත ලබාදීමට හැකියාව ලැබී ඇති බව සඳහන්. 2018 වසරේ දී ප්‍රතිචක්‍රීයකරණ දිනය එක්සත් ජාතීන්ගේ දැනුවත් කිරීමේ දිනයක් ලෙස පිළිගැනීමට උත්සාහ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර ප්‍රතිචක්‍රීයකරණ කාර්යාංශය සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදි. එහිදී ප්‍රතිචක්‍රීයකරණය කිරීමේ කර්මාන්තවල වැදගත්කම සහ සම්පත් සංරක්ෂණය කරමින් රැකියා හා සංවර්ධනය කිරීමට ඇති හැකියාව පිළිබඳව දැනුවත් කිරීම අවධානයට යොමු විය.

ප්ලාස්ටික්, යකඩ, ඇලුමිනියම්, කඩදාසි, වීදුරු සහ කාඩ්බෝඩ් යනාදිය ප්‍රතිචක්‍රීයකරණය සඳහා යොමු කරන ද්‍රව්‍ය අතර පවතී. යුරෝපය පුරා ඇලුමිනියම් ජනප්‍රිය ප්‍රතිචක්‍රීයකරණ ද්‍රව්‍යයක් ලෙසින් නැවත භාවිතය සඳහා බොහෝ ප්‍රතිනිමැවුම් ඉදිරිපත් කර ඇති ආකාරය ද දැක ගත හැකිය.කඩදාසි, පුවත්පත් හා කාඩ්බෝඩ් යනාදිය ප්‍රතිචක්‍රීයකරණයට යොමු කිරීමෙන් විශාල ලෙස ගස් කපා දැමීමෙන් සිදුවන පරිසර හානිය අවම කර ගැනීමටත්, මීට අමතරව අඛණ්ඩතාවය සහ ගුණාත්මක බව වෙනස් නොවන ලෙස වීදුරු ප්‍රතිචක්‍රීයකරණයට යොමු කිරීමෙන් විශාල සම්පත් හානියක් වළක්වා ගැනීමටත් හැකියාව ලැබී තිබෙනවා.

ප්‍රතිචක්‍රීයකරණය පිළිබඳව ශ්‍රී ලංකාව තුළ ඇත්තේ එතරම් සුබදායී තත්ත්වයක් නොවන අතර ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් මෙරට දී ප්‍රතිචක්‍රීයකරණය කරන්නේ 4%ත් 11%ත් අතර ප්‍රමාණයක් පමණයි. අවම කිරීම (Reduce) ප්‍රතිභාවිතය (Reuse) සහ ප්‍රතිචක්‍රීකරණය (Recycle) යන 3R සංකල්පය යොදා ගැනීම තුළින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය වඩා සාර්ථකව සිදු කිරීමට හැකියාව පවතී. ඒ තුළින් පරිසර දුෂණය අවම කිරීමටත්, ප්ලාස්ටික් නිෂ්පාදන ආනයනය කිරීම සඳහා වැය වන විශාල විදේශ විනිමය ප්‍රමාණය ඉතිරි කර ගැනීමටත් හැකියාව ලැබී තිබෙනවා. එමෙන්ම ස්වයං රැකියාවක් හෝ අමතර ආදායම් මාර්ගයක් ලෙස ඉවතලන ප්ලාස්ටික් අලෙවියට සහ එක්රැස් කිරීමට යොමුවීම ආර්ථිකමය වශයෙන් ලාභ ඉපයීමට අවස්ථාවක් මෙන්ම නව රැකියා උත්පාදන අවස්ථාවක් බැවින් මේ සඳහා දිරිමත් කිරීම වැදගත් වේ. ඒ අනුව ප්ලාස්ටික් අපද්‍රව්‍ය විධිමත්ව බැහැර කිරීමට ස්වයං විවේචනාත්මක සමාජ වගකීමක් ඇති විය යුතු අතර ඒ සඳහා පුද්ගලයින් ආකල්පමය වශයෙන් පෙළඹවීමක් කරා යොමු කිරීමේ අවශ්‍යයතාවය ද මතුව තිබෙනවා.

මෙවර ගෝලීය ප්‍රතිචක්‍රීයකරණ දින සැමරුම වෙනුවෙන් වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇති බව පරිසර අමාත්‍යාංශය පවසනවා. ඒ අතර හෝමාගම ප්‍රාදේශීය සභාව සහ සමුද්‍රීය ප්ලාස්ටික් අවම කිරීමේ ව්‍යාපෘතිය (USAID) සමඟ සංවිධානය කරන ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනක්, අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය පිළිබඳ බස්නාහිර හා සබරගමුව පළාත්වල පරිසර අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනක්, අපද්‍රව්‍ය එකතු කරන්නන් සහ ප්‍රතිචක්‍රීකරණය කරන්නන් සඳහා පවත්වන ලද “ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ශිල්පීය ක්‍රම හා ඒ ආශ්‍රිත ව්‍යවසායකත්ව වැඩසටහනේ සහතික ප්‍රදානය කිරීම සහ රාජගිරියේ දී ද්‍රව්‍ය ප්‍රතිසාධන පහසුකම විවෘත කිරීම යනාදී වැඩසටහන් පැවැත්වීමට නියමිතයි. ප්‍රතිචක්‍රීයකරණය පිළිබඳ සමාජ දැනුවත්භාවය වර්ධනය කර ප්‍රතිචක්‍රීයකරණයට ඇති පෙළඹවීම වර්ධනය කිරීම මෙම වැඩසටහන් තුළින් අපේක්ෂා කර තිබෙනවා.

Share This