අගමැති දුන් උපදෙස

අගමැති දුන් උපදෙස

 

කොවිඩ්-19 වසංගතයෙන් රෝගාතුරව නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ අරමුදලෙන් වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති සහ ඒකාබද්ධ වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීයි.

මීට පෙර රාජ්‍ය සේවකයන් කොවිඩ්-19 වැළඳී ජීවිත අහිමිවීම හා රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමේ දී අග්‍රහාර රක්ෂණ වන්දි ගෙවීමේ ක්‍රමය 2021 අය-වැය යෝජනා මගින් ක්‍රියාත්මක කිරීමට එවකට මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමා පියවර ගෙන තිබුණා.

වෘත්තිය සමිති මෙහිදී රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා හමුවේ කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වයට ආයතන මට්ටමෙන් උසස් නිලධාරින් සහ සේවකයන් අතර පවතින ගැටලු බලපා ඇති අකාරය ද මෙහි දී පැහැදිලි කර ඇති බව සඳහන්.

රාජ්‍ය සේවාව තුළ කාර්යක්‍ෂමතාව සහ ඵලදායිතාව වර්ධනය කළ යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා, ඒ සඳහා වගකිව යුතු නිලධාරින්ගේ ක්‍රියාත්මක වීම අවශ්‍ය බව පෙන්වා දී තිබෙනවා.

ඒ සඳහා රාජ්‍ය සේවකයන්ගේ දේශීය සහ විදේශීය පුහුණු අවස්ථා ඉහළ දැමිය යුතු බව ද අග්‍රාමාත්‍යතුමා අවධාරණය කළේ.

2016 වර්ෂයෙන් පසු රාජ්‍ය සේවයට එක්වූ සේවකයන්ට පසුගිය යහපාලන රජය අහිමි කළ විශ්‍රාම වැටුප යළි ලබා ගැනීම සම්බන්ධයෙන් වෘත්තිය සමිති නියෝජිතයෝ මෙහි දී අදහස් පළ කළා.

මේ පිළිබඳව සොයා බලන්නැයි අග්‍රාමාත්‍යතුමා ඒ මොහොතේ දී ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන් අතර ජිවන වියදම ඉහළ යෑමට සාපේක්ෂව විශ්‍රාම වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡාවට ලක්වුණා.

දුම්රිය දෙපාර්තමේන්තුවේ මිලදී ගැනීම්වල පවතින ඇතැම් අකටයුතුකම් සම්බන්ධයෙන් ද මෙහි දී වෘත්තිය සමිති නියෝජිතයෝ අග්‍රාමාත්‍යතුමා දැනුවත් කර තිබෙනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් රටේ ආර්ථිකයට බලපෑම් එල්ල වී ඇති මෙවැනි කාලවකවානුවක රාජ්‍ය ආයතන තුළ වියදම් සීමා කර ගැනීම සම්බන්ධයෙන් දැනටමත් දැනුවත් කර ඇතැයි සිහිපත් කළ අග්‍රාමාත්‍යතුමා, දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින අකටයුතුකම් පිළිබඳ සොයා බලන බව සඳහන් කළා.

Share This