fbpx
හස්ත කර්මාන්තය නගාසිටුවන්න නම් ඒවා පරිහරණය කරන්න – අගමැති කියයි

හස්ත කර්මාන්තය නගාසිටුවන්න නම් ඒවා පරිහරණය කරන්න – අගමැති කියයි

දේශීය හස්ත කර්මාන්තය වඩාත් ප්‍රචලිත කිරීමට නම් එම නිෂ්පාදන අලෙවි කිරීම මෙන්ම, රටක් ලෙස ඒවා පරිහරණය කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍යංශය, ජාතික ශිල්ප සභාව, එක්ව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සහයෝගයෙන් සංවිධානය කළ “SHILPA THURSDAY“ විශේෂ හස්ත කර්මාන්ත අලෙවි ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“SHILPA THURSDAY“ අලෙවි ප්‍රදර්ශනය සෑම බ්‍රහස්පතින්දා දිනකම බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

“ජාතික ශිල්ප සභාව සංවිධානය කළ අත්කම් වෙළඳපොළ විවෘත කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව සතුටු වෙනවා. අපි අපේ රජයන් යටතේ බලයට පත්වන සෑම අවස්ථාවකම දේශීයත්වයට මුල් තැන ලබා දුන්නා, යැයි කියන එක මා අමුතුවෙන් කිව යුතු කාරණයක් නොවේ.

පසුගිය කාලයේ ආපස්සට ගිහිල්ල තිබුණු දේශීය කර්මාන්ත අපිට ආපසු ගොඩනගන්නට අවස්ථාවක් ලැබීම පිළිබඳව අපි සන්තෝෂ වෙනවා. ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබඳව දක්වන උනන්දුව ගැන අපි එතුමාට අපේ ස්තුතිය පුද කරනවා.

දේශීය හස්ත කර්මාන්තය වඩාත් ප්‍රචලිත කරන්න නම් අපි මේ නිෂ්පාදන අලෙවි කිරීම වගේම, අපි ඒවා පාවිච්චි කිරීම කළ යුතු වෙනවා. එහෙම නම්, ඒ සඳහා මෙවැනි වෙළදපොළවල් තිබීම තුළින් වඩාත් උනන්දුවක් දක්වන්ට හා මේවා ප්‍රචලිත වෙන්නට එය හේතුවක්.

අද විශේෂයෙන්ම ගමේ ශිල්පීන්ට තිබෙන විශාල ප්‍රශ්නය තමයි බැංකු ණයක් ගන්න එක. ඔවුන්ට තමන්ගේ කර්මාන්තය දියුණු කර ගැනීමට හෝ ඉදිරියට ගෙන යාමට මුදල් අවශ්‍යතාවය තිබෙනවා. ඔවුන්ට ණයක් ගැනීමේදී මීට වඩා ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු යැයි මම විශ්වාස කරනවා.

ඒ වගේම අද මහජන බැංකුවේ සභාපතිතුමා මෙතන ඉන්නවා. මෙවැනි ප්‍රදර්ශන තියෙන අවස්ථාවලදී ඔවුන්ගේ බැංකුවේ, ළඟම ශාඛාව හෝ එහෙම නැත්නම් තාවකාලික ශාඛාවක් මෙහි විවෘත කරලා මේ කලා ශිල්පීන්ට අවශ්‍ය වන මුදල් ප්‍රමාණය, එහෙම නැත්නම් ණය සහනාධාරයක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා නම් මෙම කලා ශිල්පීන්ට මීට වඩා එය ප්‍රයෝජනයක් වෙයි කියලා මම විශ්වාස කරනවා.

හැම බ්‍රහස්පතින්දාවකම මේ ස්ථානයේ මෙවැනි වෙළඳපොළක් විවෘත කිරීමට තීන්දු කිරීම පිළිබඳව මෙම අමාත්‍යංශයට මම සුබ පතනවා” යැයි අග්‍රාමාත්‍යතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Share This