fbpx
සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචිය කඩිනම් කිරීමට පියවර

සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචිය කඩිනම් කිරීමට පියවර

දිවයින පුරා සිටින සංචාරක රියදුරන් මඟපෙන්වන්නන් ඇතුළු සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචිය කඩිනම් කර තිබෙනවා

සංචාරකයන්ට රට විවෘත කිරීමට පෙර සංචාරක සේවා සපයන්නන් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය බැවින් මෙම පියවර ගත් බවයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ

සංචාරකයන් සඳහා රට විවෘත කිරීම සම්බන්ධයෙන් මේ වනවිට රජය පියවර රැසක් ගෙන තිබෙනවා

සෞඛ්‍ය අංශ උපදෙස් අනුව ඒ සඳහා කටයුතු කිරීම රජය අපේක්ෂාවයි.

ඒ අනුව සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචිය කඩිනම් කිරීම සඳහා මාර්ග ගත (online) ක්‍රමවේදයක් හඳුන්වා දී ඇතැයි ද ඇමතිවරයා පවසනවා

සංචාරක පනතේ 48(3) වගන්තිය අනුව දිවයින පුරා සිටින සියළුම සංචාරක සේවා සපයන්නන් සංචාරක සේවා අධිකාරියේ ලියාපදිංචි විය යුතුයි .

මෙලෙස නිසි ලෙස ලියාපදිංචි නොවීම නිසා කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් රජය ලබා දුන් සහන ලබාගැනීමට ඇතැමුන්ට නොහැකි වී ඇති අතර ලියාපදිංචිය කඩිනම් කිරීම සඳහා මේ තත්ත්වය ද හේතු වූ බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරනවා

මේ අතර දිවයින පුරා සිටින සංචාරක රියදුරන්ට සංචාරක සේවා අධිකාරියේ විධිමත් පුහුණුවක් ලබාදීමට ද කටයුතු යොදා ඇතැයි ඇමතිවරයා පවසන අතර එම පුහුණුව දිවයින පුරා පිහිටි වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන හරහා ලබා දීමට අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර තිබෙන බවද පවසනවා

මෙහිදී පෙර පුහුණුවක් ලබා ඇති පුද්ගලයන්ට පුනරීක්ෂණ වැඩසටහන් ද , නවකයන් සඳහා නව වැඩසටහන් ද සංචාරක සංවර්ධන අධිකාරිය මගින් සම්පාදනය කර තිබෙන බවයි වාර්තා වන්නේ

Share This