fbpx
2025 වන විට විදුලි ඉල්ලුම සම්පූර්ණ කිරීමට අවශ්‍ය සියලු පියවර කඩිනමින් ගන්නවා – අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

2025 වන විට විදුලි ඉල්ලුම සම්පූර්ණ කිරීමට අවශ්‍ය සියලු පියවර කඩිනමින් ගන්නවා – අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

වසර 2025 වන විට මෙරට විදුලි ඉල්ලුමට සරිලන විදුලි සැපයුමක් සම්පූර්ණ කිරීම සදහා විදුලි ජනනය ඉහළ නැංවීමට විදුලි බලාගාර සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති රැසක් ඉදිරි කාලසීමාවේ ආරම්භ කරන බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද (01) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මේ අනුව මෙගා වොට් 300 ක ධාරිතාවයකින් යුතු ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) බලාගාරයක් කෙළවරපිටියේදී ඉදිකරන බවත් එහි වැඩකටයුතු ලබන මාසයේ පළමු දෙසතිය තුළ ආරම්භ කරන බවත් අමාත්‍යවරයා පැවසුවා .

තවද මෙගා වොට් 300 ක ධාරිතාවයෙන් යුතු කෙළවරපිටිය – 2 බලාගාරය සදහා ඉඩම් අත්පත් කර ගැනීම සහ ටෙන්ඩර් ප්‍රදානය කිරීමේ කටයුතු 2021 මුල් මාස 06 තුළ සිදුකරන බවත් ඉන්ධන සැපයුම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙන් අනතුරුව 2024 වන විට මෙහි වානිජ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා සදහන් කලා.

කොළඹ ආශ්‍රිත මෙගාවොට් 650 ක ධාරිතාවයකින් යුතු තාප බලාගාර, ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) බලාගාර බවට පත්කිරීම සිදුකරන බවත් මේ යටතේ කැළණිතිස්ස, කෙළවරපිටිය,සපුගස්කන්ද යන බලාගාර ඩීසල් සහ නැප්තාවලින් ක්‍රියාකරන ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) බලාගාර බවට පත්වන බවත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා

චාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා ඉහත කරුණු අනාවරණය කළේ.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඇස්තමේන්තු අනුව 2025 වන විට ගිගාවොට් පැය 22500ක විදුලි ජනනයක් සිදුකළ යුතු බව පුරෝකථනය කර ඇති බවත් 2013 වර්ෂයේ සිට මේ දක්වා ජාතික විදුලි බල පද්ධතියට ප්‍රධාන බලාගාරයක් එක්වී නැතිබවත් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළා.

එබැවින් තාප බලාගාර ,ද්‍රවීකෘත ස්වභාවික වායු ( LNG )බලාගාර ප්‍රමුඛව මෙම ඉල්ලුම සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ.

තවද උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ලබන පෙබරවාරි වන විට මෙගා වොට් 120ක් ජාතික විදුලි බල පද්ධතියට එක්වේ.එසේම ලක්ෂපාන ව්‍යාපෘති පද්ධතියේ අවසාන ව්‍යාපෘතිය වන බ්‍රෝඩ්ලන්ඩ් බලාගාරයේ වැඩකටයුතු 90%ක් අවසන්ව ඇති බවත් ඉදිරි වසරේ මුල් මාස 06 තුළ මෙය විවෘත වන බවත් අලහප්පෙරුම මහතා පැවසුවා.

මේ අතර පෙර වර්ෂවලදී දෛනික විදුලි පරිභෝජනය දළ වශයෙන් ගිගාවොට් පැය 45ක් වුවද මේවන විට ඇතිවී ඇති කොවිඩ් තත්ත්වය නිසා 2020 වර්ෂයේදී සාමාන්‍ය දෛනික විදුලි පිරිභෝජනය ගිගාවොට් පැය 40 පමණ දක්වා අඩු වී ඇති බව ද අමාත්‍යවරයා අනාවරණය කළා

Share This