fbpx
මෙරට  ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට දියුණු කළ හැකි බව ජනපති පවසයි

මෙරට ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට දියුණු කළ හැකි බව ජනපති පවසයි

පිහිටීම ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු සහ නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (15) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනපති මේ බව පවසා තිබෙන්නේ.

එහිදී ලෝකයේ දියුණුතම වරායන් ආදර්ශයට ගෙන මෙරට වරාය පහසුකම් සංවර්ධනය කිරීමෙන් සංවර්ධන ඉලක්ක කඩිනමින් ලඟාකරගත හැකි බවයි ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ .

තවද බහලුම් 24,000ක් ප්‍රවාහනය කළහැකි ලොව විශාලතම නෞකා ආකර්ශණය කර ගැනීමට ඉවහල් වන අයුරින් මෙරට වරාය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කර තිබෙනවා.

රට ආසන්නයෙන් යාත්‍රා කරන ජාත්‍යන්තර නෞකාවනට සේවා සැපයීමට හැකි පරිදි වරාය පද්ධතිය දියුණු කරමින් කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ සහ ඔලුවිල් වරාය සංවර්ධනය කළ යුතු බවත් කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර පර්යන්ත සංවර්ධනය වේගවත් කළ යුතු බවත් පෙන්වා දුන්නා.

එමෙන්ම ප්‍රති නැව්ගත කිරීම හැසිරවීමේ ධාරිතාව, ගුදම් පහසුකම් හා භාණ්ඩ අංගන, සැපයුම් පහසුකම් අන්තර්ජාතික ප්‍රමිතියට වැඩිදියුණු කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර රත්මලාන, පෑලියගොඩ සහ වේයන්ගොඩ ආශ්‍රිතව නව ගුදම් පහසුකම් ඉදි කරමින් කොළඹ වරාය සංක්‍රමණික බහලුම් කේන්ද්‍රයක් (Transshipment Hub) බවට පත්කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

Share This