fbpx
රැඳවියන්ට අමුත්තන් පෙන්වීම තහනම් වූ මේ කාලයේ අමුත්තෙකු බන්ධනාගාරය තුළටම ගොස් සිදු කළ දේ

රැඳවියන්ට අමුත්තන් පෙන්වීම තහනම් වූ මේ කාලයේ අමුත්තෙකු බන්ධනාගාරය තුළටම ගොස් සිදු කළ දේ

මහර බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවෙකුට ලබා දීම සඳහා ආහාර පාර්සලයක සූක්ෂම ලෙස සඟවා තිබී ජංගම දුරකථන දෙකක බන්ධනාගාර නිලධාරීන් භාර ගෙන තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ( පාලන හා පුනරුත්ථාපන ) චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළේ, ඒ සමඟ දුම්කොළ කුඩු පාර්සලයක්ද එම නිලධාරීන් භාරයට ගත් බවයි.

කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව රැඳවියන්ට අමුත්තන් පෙන්වීම සහ පිටස්තර පුද්ගලයින්ට බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර ඇති අවධියක මෙලෙස පිටස්තර පුද්ගලයෙකුට පැමිණීමට අවසර ලැබී තිබුණේ මහර බන්ධනාගාරයේ ඉහළ නිලධාරියෙකුගේ නියෝගයකට අනුවයි.

අදාළ නිලධාරියාගේ නියෝගයට අනුව අමුත්තාට බන්ධනාගාර ප්‍රධාන දොරටුව වෙත යෑමට අවසර හිමිව තිබුණා.

එහිදී ආහාර පාර්සලය පරික්ෂා කළ අවස්ථාවේ පිටතින් පැමිණි පුද්ගලයා පිටව ගොස් තිබෙනවා.

කෙසේවෙතත් රැඳවියන්ට අමුත්තන් පෙන්වීම සහ පිටස්තර පුද්ගලයින්ට බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළුවීම තහනම් කර ඇති අවධියක පිටස්තර පුද්ගලයෙකුට පැමිණීම පිලිබඳ වහාම විමර්ශයක් ආරම්භ කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් බන්ධනාගාර බුද්ධි ඒකකයට දැනුම් දී තිබෙනවා.

Share This