fbpx
බූවැලිකඩ ගොඩනැගිල්ලට මොකද වුනේ ?

බූවැලිකඩ ගොඩනැගිල්ලට මොකද වුනේ ?

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මහනුවර , බූවැලිකඩ ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ල ගිලා බැස කඩා වැටීමට හේතුව සොයාගෙන තිබෙනවා.

මහනුවර, බූවැලිකඩ ගිලා බැසීමට ලක්වූ පස් මහල් ගොඩනැගිල්ල ඉදිකර ඇත්තේ, නිම්නයක ආරම්භක ප්‍රදේශයක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා .

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මහනුවර දිස්ත්‍රික්කය භාර භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා පවසන්නේ අදාළ නිම්නාකාර ප්‍රදේශයේ ලිහිල් පාංශු ස්ථර මත එම පස් මහල් නිවස ඉදිකර ඇති බවයි.

එහි බර දරාගත නොහැකිවීම ගිලා බැසීමට හේතුවී ඇතැයි ඔහු සඳහන් කරනවා

පවතින තත්ත්වය යටතේ එම ස්ථානය ආශ්‍රිතව පවතින පවුල් 4 ක් තාවකාලිකව ඉවත් කර ඇති බවද භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා පවසන අතර භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා පවසන්නේ එම පස්මහල් නිවස ගිලා බැසීමට භු කම්පන තත්ත්වයක් හේතු වී නොමැති බවයි.

එමෙන්ම ගොඩනැගිල්ලේ අත්තිවාරම හා ව්‍යූහයේ ප්‍රමිතිය මෙන්ම, භූමියට නොගැළපෙන ඉදිකිරීමද මෙම ගිලාබැසීමට හේතු වී ඇති බවද සඳහන්.

මහනුවර බූවැලිකඩ ප්‍රදේශයේ කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු අද දෙවන දිනටත් ආරම්භ වී තිබෙනවා

බූවැලිකඩ සංඝමිත්තා මාවත ප්‍රදේශයේ දී මහල් 5කින් යුත් ගොඩනැගිල්ලක් ඊයේ පාන්දර කඩා වැටීමට ලක්වුණා

එහිදී ඊට යාබද නිවස සම්පූර්ණයෙන් ම විනාශයට පත් වූ අතර එම නිවසේ සිටි එකම පවුලේ මව පියා සහ බිළිදා මිය ගිය අතර ඔවුන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද දිනයේ මහනුවර මහා රෝහලේ සිදුකිරීමට නියමිතයි

Share This