fbpx
නැගෙනහිර වෙරළේ ධීවර කටයුතුවලට අනතුරු ඇඟවීමක්

නැගෙනහිර වෙරළේ ධීවර කටයුතුවලට අනතුරු ඇඟවීමක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ධීවර කටයුතුවලින් තවදුරටත් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ට උපදෙස් ලබාදී තිබෙනවා

එහි සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්‍යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා ප්‍රකාශ කරන්නේ බහුදින ධීවර යාත්‍රා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි.

ඊට අමතරව නිරිත, දකුණ සහ ගිණිකොන දිග ප්‍රදේශවලින් මුහුදු යන එක්දින සහ කුඩා ධීවර යාත්‍රා ද මුහුදේ කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් විමසිලිමත් වන්නැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා

සබරගමුව සහ බස්නාහිර පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර මධ්‍යම, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා

උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින්විට හමන පැ.කි.මී 50 පමණ තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) අතර වනවා

එමෙන්ම පුත්තලම සිට කන්කසන්තුරේ හරහා ත්‍රීකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60) දක්වා වැඩිවීමේ හැකියාවක් පවතිනවා

Share This