නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් අක්කර 782 ක් වගා කිරීමට හඳුනා ගැනේ

නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් අක්කර 782 ක් වගා කිරීමට හඳුනා ගැනේ

නාගරික ඉඩම් වගා කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් අක්කර 782 ක් වගා කිරීම සඳහා හඳුනා ගෙන තිබෙනවා .

මෙම ඉඩම් වගා කිරීම කඩිනමින් ආරම්භ කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට ඊයේ (07) උපදෙස් දුන්නා

දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙම ඉඩම් පිහිටා ඇති අතර ඒවා ඉඩම් අක්කර 01 සිට 400 දක්වා ප්‍රමාණයන්ගෙන් සමන්විතයි.

ඒ අනුව එම ප්‍රදේශවලට ආවේණික බෝග හඳුනාගෙන මෙම ඉඩම්වල වගා කරන ලෙසටයි ඇමතිවරයා බලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේ.

ඉදිරියේ දී ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා ප්‍රයෝජනයට නොගත් නාගරික ඉඩම්වල වගා කටයුතු කඩිනමින් ආරම්භ කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවද ඇමතිවරයා මෙහිදී පෙන්වා දුන් අතර එමඟින් ජනතාවට සහනයක් සැලසීමට හැකිවනු ඇතැයි ද විශ්වාසය පළ කළා.

නාගරික සංවර්ධන අධිකාරිය මෙතෙක් ආරම්භ නොකළ මහා පරිමාණ ව්‍යාපෘති තාවකාලිකව නතර කරන ලෙසත් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති පමණක් ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙසත් උපදෙස් දුන් ඇමතිවරයා මේ වන විට විකුණා ඇති නාගරික සංවර්ධන අධිකාරියට අයත් දේපලවලට ලැබීමට තිබෙන හිඟ මුදල් කඩිනමින් ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද බලධාරීන්ට දැනුම් දුන්නා

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකර අවසන් කර ඇති නිවාස කඩිනමින් විකිණීම සඳහා අලෙවි සැලැස්මක් ද සකස් කල යුතුව ඇති බවත් අනාගතයේ දේපල වෙළඳාම් කිරීම සඳහා පවතින දේපලවල වෙළඳපල මිලට සාපේක්ෂව වටිනාකම තීරණය කිරීමට කටයුතු කරන ලෙසත් ඇමතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා

Share This