තැනින් තැන හසුවෙන මත්කුඩු

තැනින් තැන හසුවෙන මත්කුඩු

සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬපැවැත්වීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි මේ වන විට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

ඒ අතර, තලංගම පොලීසිය මඟින් බත්තරමුල්ල, හීනටිකුඹුර ප්‍රදේශයේ හදිසි වැටලීමක් සිදු කරනු ලැබුවා.

එහිදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ යුවලක් අත්අඩංගුවට ගත අතර ඔවුන් සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් සොයා ගැනීමට හැකි වුණා.

ඊට අමතරව ජාවාරම සඳහා යොදා ගත් බව කියන මෝටර් රථයක් ජංගම දුරකතන 5ක්, විද්‍යුත් තරාදි 3ක්, බැංකු කාඩ් පත් දෙකක්ද පොලිස් භාරයට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් යුවලගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ දැනට විදෙස් රටක සැඟව සිටින කළු සාගර නමැති ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් මත්ද්‍රව්‍ය ඔවුන් මෙලෙස බෙදා හරින බවයි.

සැකකරුවන්ගෙන් එක් අයෙකු අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අමිල රුවන් ප්‍රදීප් නමැති 30 හැවිරිදි පුද්ගලයෙක්.

මීට සම්බන්ධ කාන්තාව දිනේෂිකා නිරෝෂී නමැති 34 හැවිරිදි වියේ පසු වන නෝනාගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

ඔවුන් දෙදෙනා රාජගිරිය, මාදින්නාගොඩ කුලී නිවසක රැඳී සිටිමින් මේ ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ.

මේ අතර පුද්ගල ඝාතන රැසකට සම්බන්ධව බන්ධනාගාරව සිට ඇප මත නිදහස්ව සිටින වතුගෙදර පාතාල චූටිගේ මව හා අනියම් බිරිඳ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට අම්බලන්ගොඩ පොලීසියට හැකි වුණා.

අත්අඩංගුවට ගත් මෙම දෙදෙනාගේ නිවෙස්වල තිබී හෙරොයින් ග්‍රෑම් 15ක් සොයා ගනු ලැබුවා.

වතුගෙදර පාතාල චූටි නමැත්තා කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ වූ අයෙකු බවයි අම්බලන්ගොඩ පොලීසිය කියා සිටියේ.

අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් සිදුකළ වැටලීමක දී හෙරෙයින් මත්ද්‍රව්‍ය සමඟ අනුරාධපුර ශික්ෂණ රෝහලේ සුළු සේවකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

කොළඹ සිට අනුරාධපුර දක්වා දුම්රියෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරමට මෙම තිදෙනා සම්බන්ධ බවයි පොලිසිය කියා සිටියේ.

මේ අතර, පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් කොළඹ හෙට්ටිවීදිය ප්‍රදේශයේ සිදුකළ හදිසි වැටලීමක දී හෙරොයින් ග්‍රෑම් 703 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙම සැකකරු කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු කලක සිට මෙම ජාවාමර සිදුකරගෙන ගොස් ඇති බවයි අනාවරණය වී තිබෙන්නේ.

Share This