fbpx
ටික් ටොක් හි ‘නීති කැඩූ’ වීඩියෝ මිලියන 49 ක් මකා දමයි

ටික් ටොක් හි ‘නීති කැඩූ’ වීඩියෝ මිලියන 49 ක් මකා දමයි

2019 වසරේ ජූලි සහ දෙසැම්බර් අතරේදී, සිය නීති උල්ලංඝනය කළ වීඩියෝ මිලියන 49 ක ප්‍රමාණයක් මකා දැමු බව ‘ටික් ටොක්’ (Tik Tok) යෙදවුම (app) හිමි සමාගම සඳහන් කරනවා.

සිය නවතම පාරදෘශ්‍ය වාර්තාවෙන් එම සමාගම පෙන්වා දෙන්නේ, මකා දමන ලද වීඩියෝවලින් හතරෙන් එකක් ම වැඩිහිටි නග්න බව හෝ ලිංගික ක්‍රියාකාරකම් සහිත වූ ඒවා බවය. මීට අමතරව, දත්ත සම්බන්ධයෙන් ආණ්ඩුවලින් හා පොලිසියෙන් ඉල්ලීම් 500ක් පමණ ලැබුණු අතර ඉන් ඉල්ලීම් 480 කට අනුගත වූ බව සමාගම අනාවරණය කළේය.

චීනයේ හිමිකම ඇති ටික් ටොක් යෙදවුම තහනම් කිරීමට “සොයා බලන” බව එක්සත් ජනපදය පවසා තිබිණි.

ටික් ටොක් බාගත කිරීමෙන් පුරවැසියන්ගේ “පුද්ගලික තොරතුරු චීන කොමියුනිස්ට් පක්ෂය අතට පත්වීමට” ඉඩ ඇති බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ සඳුදා පැවසීය.

ෆොක්ස් නිව්ස් (Fox News) සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පොම්පෙඕ, චීනය හිමිකම් කියන එම යෙදවුම තහනම් කළ යුතුයි යන්න සම්බන්ධයෙන් එක්සත් ජනපද ආණ්ඩුවේ අවධානය යොමුවී ඇති බව සඳහන් කරමින් කියා සිටියේ “මෙය බරපතල ලෙස අප සලකනවා. අපි අනිවාර්යයෙන්ම මේ ගැන සොයා බලනවා,” යනුවෙනි.

සයිබර් – ආරක්ෂාව පිළිබඳ අවධානය ගෙන හැර දක්වමින් ඉන්දියානු ආණ්ඩුව විසින් දැනටමත් මෙම යෙදවුම තහනම් කරනු ලැබ තිබේ.

ටික් ටොක් යෙදවුමේ හිමිකාරිත්වය තිබෙන්නේ බයිට්ඩාන්ස් (ByteDance) නම් වූ චීන සමාගම සතුවය. චීනය තුළ එම යෙදවුම භාවිතයේ නැතත් ඒ හා සම වූ ඩෝවුයින් (Douyin) නම් වූ යෙදවුමක් බයිට්ඩාන්ස් සමාගම විසින් මෙහෙයවනු ලබයි.

දත්ත පිළිබඳ කිසිදු ඉල්ලීමක් චීන ආණ්ඩුවෙන් හෝ පොලිසියෙන් නොලැබුණු බවත් දත්ත මකා දැමීම සඳහා වූ ඉල්ලීමක් චීන ආණ්ඩුවෙන් නොලද බවත් ටික් ටොක් කියා සිටියේය.

මෙම සමාගම චීනයෙන් පිටත නව මූලස්ථානයක් ස්ථාපනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන ඇති බව දැක්වෙන වාර්තාවක් වෝල් ස්ට්‍රීට් ජර්නල් (Wall Street Journal) පුවත්පත විසින් බ්‍රහස්පතින්දා (ජූලි 09) පළකරනු ලැබිණි.

BBC පුවත් සේවය ඇසුරෙනි.

Share This