fbpx
ජනපතිගේ සහ අගමැතිගේ තෛපොංගල් දින පණිවුඩ

ජනපතිගේ සහ අගමැතිගේ තෛපොංගල් දින පණිවුඩ

අස්වනු නෙලීමේ මංගල්‍යය යන අරුත ඇති තෛපොංගල් ලොව පුරා වෙසෙන දෙමළ ජනයාගේ මුල් පෙළේ ආගමික සංස්කෘතික උළෙලක් .

දමිළ – හින්දු භක්තිකයින් උත්සවශ්‍රීයෙන් සමරන තෛපොංගල් දිනය අදට දී තිබෙනවා

එය ස්වභාවධර්මය හා බැඳුණු, කෘෂිකර්මය මත පදනම් වූ පාරම්පරික ජීවන රටාව සහ භෝග වගා සරු කිරීමට උපකාරී වූ සූර්යයාට කෘතඥතාව පුද කිරීම සනිටුහන් කරනවා .

හින්දු ධර්මානුකූලව දිවි ගෙවන දෙමළ ජනයා තෛපොංගල් සමය සිය අපේක්ෂා ඉටුවන නව වසරක උදාව ලෙස ද සලකන අතර එකී සොම්නස භුක්ති විඳින අපේ සහෝදර දෙමළ ජනතාව සමග මම ද සතුටු සිතින් එක් වෙමි.

ගොවිතැනෙන් ලැබෙන අග්‍රඵලය වූ නැවුම් සහල්, කිරි හා මුසු කොට ඉතිර වීමෙන් තමන්ටත්, තම පවුලටත්, රටටත් සහ සමස්ත ලෝකයාටත් සෞභාග්‍යය
උදා වේවා යන්න ඔවුන්ගේ ප්‍රාර්ථනයයි. ජාති ආගම් භේදයකින් තොරව ලක්වැසි සියලු ජනතාවට සෞභාග්‍යය උදා කිරීම මගේත්, අප රජයේත් ඒකායන පරමාර්ථයයි යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවාසී දෙමළ ජනතාවට සුභාශිංසන පිරිනමා තිබෙනවා

ලොව පුරා දමිළ ජනතාව බැතියෙන් සමරනු ලබන තෛපොංගල් උත්සවයට සුභාශිංසන එක් කරනුයේ ඉමහත් සතුටින් බව අගමැතිතුමා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා

කෘෂිකාර්මික කටයුතු සාර්ථක කර ගැනීමට හිරු දෙවියන් ඇතුලු ස්වභාවධර්මය දුන් ශක්තියට කෘතගුණ සැළකීම මුල් කරගෙන නව වසරේ උදාව සමරනු ලබන තෛපොංගල් දින උත්සවය ආගමික, සංස්කෘතික හා සමාජීය වශයෙන් ඉතාමත් වැදගත් දිනයක්

වී අස්වැන්න නෙළා ලබා ගත් අලුත් සහල් ද, අලුත් උක් ගසකින් ගත් පැණි ද, එළකිරි යොදා පිසින පොංගල් කිරිබත හා මංගල ද්‍රව්‍යක් ලෙස කහ පිඩක් ද භක්ති පූර්වකව හිරු දෙවියන් වෙත පුදා නමස්කාර කිරීම අද දිනයේ විශේෂත්වයක්

ස්වභාව ධර්මයේ වටිනාකම, සමානාත්මතාවයට ගරු කිරීමේ වැදගත්කම, කෘතගුණ දැක්වීමේ උසස් ගුණාංගය වැනි සියලු ආගම්වල මානුෂීය අදහස් පිළිබඳව තෛපොංගල් උත්සවය අපට අවබෝධයක් ලබා දෙයි.

නව වසරේ උදාව සමරන සියලුම දමිළ ජනතාව සහ අනෙකුත් ජාතීන්ට තෛයිපොංගල් දින අර්ථයන් සිය ජීවිතවලට ළඟා කර ගැනීමෙන් අනාගත ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් හා සාමකාමී දේශයක් ලෙස පෙරට ගෙන ආ හැකියි

ශ්‍රී ලංකාවේ සාමය හා සංහිදියාව අධිෂ්ඨාන කරගත් ජාතික සංහිදියාවේ දිනයක් බවට තෛයිපොංගල් දින උත්සවය පත් වනු දැකීම අප සැමගේ අපේක්ෂාව බවත් තෛපොංගල් උත්සවය සමරන සහෝදර දමිළ ජනතාවට සියලු අනාගත අපේක්ෂාවන් ඉටුවන සෞභාග්‍යමත් ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබේවා යනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සුභාශිංසන පිරිනමනවා

Share This