fbpx
ඉවතලන අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවිමට ඉතාලි රජයේ සහාය

ඉවතලන අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවිමට ඉතාලි රජයේ සහාය

ඉවතලන අපද්‍රව්‍ය සඳහා වාණිජමය අගයක් ලබාදෙමින්, අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවිම තුළින් ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතියට සුවිශාල දායකත්වයක් ලබාදිය හැකි බැවින් ඒ වෙනුවෙන් තම රටේ සහාය ලබාදිය හැකි බවත්, ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි එච්.ඊ. රීටා මැනෙල්ලා මහත්මිය අවධාරණය කර තිබෙනවා

තානාපතිනිය මේ බව පවසා තිබෙන්නේ ,පසුගියදා විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමග පැවති නිල සාකච්ඡාවකට එක්වෙමින්

මේ වනවිට ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය ලාභදායි පුනර්ජනනීය ප්‍රභවයන් වෙත යොමුවෙමින් පවතින බැවින්, කසල වැනි විකල්ප බලශක්ති ප්‍රභවයන්ද අත්හදා බැලීම වඩාත් යෝග්‍ය වනු ඇතැයි පැවසූ තානාපතිවරිය, ඒ වෙනුවෙන් තම රටට ආයෝජන හැකියාවක් පවතින බව සදහන් කර තිබෙනවා

මේ වනවිට බොහෝ රටවලට දෛනිකව ඉවතලන ද්‍රව්‍ය කළමණාකරණය විශාල ගැටළුවක්ව පවතින අතර ශ්‍රී ලංකාවටද මෙම ගැටළුවට මුහුණදීමට සිදුවී ඇති බව මෙහිදී පැවසූ විදුලිබල අමාත්‍යවරයා, එම ගැටළුවට විසඳුමක් ලෙසින් මෙවැනි ව්‍යාපෘතියක් පිළිබදව සහයෝගය දැක්වීමට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ඉතාලි තානාපතිවරියට සිය ප්‍රසාදය පළකර සිටියා

ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රකාරව ශ්‍රී ලංකා රජයේ තිරසාර බලශක්තියට ප්‍රමුඛතාවය ලබාදිය යුතුව ඇති බැවින්, අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රියාදාමය ශ්‍රී ලංකාවට වඩාත් වැඩදායි වියහැකි බව ද අමාත්‍යවරයා අවධාරණය කළා

Share This