අමෙරිකා – ශ්‍රී ලංකා වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුමෙහි රැස්වීමක් කොළඹ දී පවත්වයි

අමෙරිකා – ශ්‍රී ලංකා වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුමෙහි රැස්වීමක් කොළඹ දී පවත්වයි

අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර වන වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුමෙහි 14 වන කවුන්සිල රැස්වීම අද (18) කොළඹ දී පැවැත්වුණා.

ඒ සඳහා ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් ජාත්‍යන්තර වෙළඳ කාර්යාලයේ ප්‍රධාන සාකච්ඡාකරු වන කේ.ජේ. වීරසිංහ මහතා සහ අමෙරිකානු පාර්ශ්වයෙන් දකුණු සහ මධ්‍යම ආසියාවෙහි අමෙරිකානු එක්සත් ජාතීන්ගේ වැඩබලන සහකාර වෙළඳ නියෝජිත බ්‍රෙන්ඩන් ලින්ච් මහතා විසින් තාක්ෂණික මට්ටමේ රැස්වීමේ සම සභාපතිත්වය හොබවනු ලැබුවා.

වෙළඳාමල ආයෝජන, රේගු, කම්කරු සබඳතා, බුද්ධිමය දේපළ, කෘෂිකර්මය සහ අනෙකුත් අදාළ නියෝජිතායතනවලට අයත් නිලධාරීන් මෙම නියෝජිත පිරිසට ඇතුළත් වූ බව සඳහන්.

ඒ අනුව වෙළඳ හා ආයෝජන රාමු ගිවිසුමට අදාළ කවුන්සිල රැස්වීමේදී, ආයෝජන පරිසරය කෙරෙහි බලපාන ප්‍රතිපත්ති, මෑතකාලීන කම්කරු නීති ප්‍රතිසංස්කරණ, බුද්ධිමය දේපල ආරක්ෂණය සහ බලාත්මක කිරීම, රේගු සහ වෙළඳ පහසුකම් සැපයීම, වෙළඳාම සඳහා පවතින තාක්ෂණික බාධක, ඇඟලුම්, මැණික් සහ ස්වර්ණාභරණ මෙන්ම කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා වෙළඳපළ ප්‍රවේශය ද ඇතුළුව පුළුල් පරාසයක විහිඳුනු ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන සම්බන්ධ ගැටළු පිළිබඳව එහිදී වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.

යහපාලනය පිළිබඳ අවධානය යොමු කිරීමේදී, ශ්‍රී ලංකාව තුළ වගවීම සහතික කිරීමටත්, විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීමටත් ශක්තිමත් දූෂණ විරෝධී ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේ වැදගත්කම ද අමෙරිකානු එක්සත් ජනපදය විසින් මෙහිදී අවධාරණය කර ඇති බව සඳහන්

එමෙන්ම ශ්‍රී ලංකාව, විසින් මෑත කාලයේදී යෝජනා කරන ලද දූෂණ විරෝධී අණ පණත් නීති පිළිබඳ යාවත්කාලීන තොරතුරු ඉදිරිපත් කළ අතර අල්ලස් සහ සෑම ආකාරයකම දූෂණවලට එරෙහිව සටන් කිරීම සඳහා අමෙරිකානු රජයේ තාක්ෂණික සහාය සහ පුහුණුව ද එහිදී ඉල්ලා තිබෙනවා

 

 

Share This