fbpx
අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් දැඩිව නීතීය ක්‍රියාත්මක කළ යුතුයි – මධ්‍යම ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු. ගමගේ

අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් දැඩිව නීතීය ක්‍රියාත්මක කළ යුතුයි – මධ්‍යම ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු. ගමගේ

අනවසර මෙන්ම අවදානම් ගොඩනැගිලි හේතුවෙන් පවතින අවදානම් තත්ත්වය සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර සාකච්ඡා කිරීම සදහා මධ්‍යම ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා විසින් විශේෂ රැස්වීමක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී ඊයේ දින පවත්වා තිබෙනවා

මධ්‍යම පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා), පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, මහනුවර නගර සභාවේ නාගරික ඉංජිනේරු, නාගරික සංවර්ධන අධිකාරියේ පළාත් අධ්‍යක්ෂ, ආපදා කළමනාකරණ මහනුවර මධ්‍යස්ථාන අධ්‍යක්ෂ, භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ප්‍රාදේශිය කළමනාකරු, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ස්ථාන භාර නිලධාරී ඇතුළු මහත්ම මහත්මීන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම විශේෂ සාකච්ඡාවේදී මහනුවර නගරය තුල පවතින අවදානම් මෙන්ම අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් කරුණු රැසක් හෙළිදරව් වි තිබෙන බවයි වාර්තා වන්නේ

විශේෂයෙන් රජයේ පවතින නීතී රෙගුලාසි අනුගමනය නොකරමින් සහ උපක්‍රමශීලී ලෙස නගර තුල අනවසර ඉදිකිරීම් සිදු කරනු ලබන බවත්, ප්‍රමිතියෙන් බාල ඉදිකිරීම් සදහා කිසිසේත් උචිත නොවන ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිතයෙන් දැඩි අවදානම් මට්ටමේ ඉදිකිරීම් වල ඇතැම් පිරිස් නිරත වී සිටින බවද මෙහිදී අනාවරණය වි තිබෙනවා

මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, අනවසර මෙන්ම අවදානම් මට්ටමේ පවතින ගොඩනැගිලි සදහා නීතීය දැඩිව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පවතින බවයි.

මෙහිදී වර්තමානයේ ඉදිකරමින් පවතින ගොඩනැගිලි සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කරන ලෙසත් නගරය තුල දැනට අවදානම් මට්ටමේ පවතින ගොඩනැගිලි සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කර එම ගොඩනැගිලි සම්බන්ධයෙන් නීතීමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙසත් ආණ්ඩුකාරවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා

Share This